කුසුදුා ජපානයේ තෝකියෝවේ විසූ තරුණ වෛද්‍යවරයක්. ඔහුට පාසල් මිතුරෙකු හමු වුණා. ඒ මිතුරා සෙන් බුදු දහම ඉගෙන ගන්නා බව කීවා. ඔහු මිතුරාගෙන් ඇසුවා, "සෙන් යනු කුමක් ද?" කියා.
"මට කියන්න බෑ හරියටම ඒ මොකක්ද කියා." යැයි කී මිතුරා, "ඒත් එකක් නම් විශ්වාසයි, ඔබ සෙන් හරියට තේරුම් ගත්තොත් ඔබේ මරණ බිය නැතුව යනවා" කියා පිළිතුරු දුන්නා.
"ඒක අපූරු දෙයක්" කුසුදා කීවා. "මං කැමතියි ඉගෙන ගන්න. මං කොහෙන්ද ගුරුවරයෙක් හොයා ගන්නෙ?"
"යන්න, නැන් ඉන් ගුරුතුමා ළඟට." මිතුරා කීවා.
මිතුරා කියාපු විදියට කුසුදා නැන් ඉන් ගුරුතුමා හමුවෙන්න ගියා. හැබැයි නිකං නෙවෙයි, අඟල් නමය හමාරක් දිග කිරිච්චියකුත් අරගෙනයි ගියේ. ඔහුට අවශ්‍ය වුණා, ගුරුතුමා මරණ බිය නැති කර ගෙනද ඉන්නෙ කියලා හරියටම දැන ගන්න."
කුසුදා තමන් ළඟට එනව දැකපු ගමන් නැන් ඉන් ගුරුතුමා මෙහෙම කිව්වා; "ආයුබෝවන් මිත්‍රයා, කොහොමද සැප සනීප? අපි දෙන්නා හුඟ කාලෙකින් මුණ ගැහුණෙ නෑ නේද?"
ඉන් විමතියට පත් කුසුදා, එකවරම මෙහෙම කිව්වා: "අපි කවදාවත් හමුවෙලා නෑ'
"ඒක හරි!" නැන් ඉන් පිළිතුරු දුන්නා. "මම ඔබට රැවටුණා මෙහෙට උපදෙස් ගන්න එන වෙන වෛද්‍ය වරයෙක් කියලා."
මුලින් ම හමුවුණු විට සිදුවුණු මේ සිදුවීම නිසා කුසුදාට බැරි වුණා, ගුරුතුමාව පරීක්ෂාවට ලක් කරන්න. අකමැත්තෙන් වුනත්, ඔහුට කෙළින් ම කියන්න සිදුවුණා, තමා ආ කාරණේ.
"මං ආවේ සෙන් දහම ඉගෙන ගන්න" කුසුදා කීවා.
"සෙන් ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඔබ වෛද්‍යවරයකු නම් ඔබේ රෝගීන්ට හොඳට කරුණාවෙන් සලකන්න. ඒ තමයි සෙන්" නැන් ඉන් ගුරුතුමා කීවා.
පසුදාත් කුසුදා නැන් ඉන් ගුරුතුමා හමුවන්න ගියා. ගුරුතුමා කීවේ, "ඔබ වෛද්‍යවරයකු නම් ඔබේ රෝගීන්ට හොඳට කරුණාවෙන් සලකන්න." කියලයි.
ඉන්පසුව, කුසුදා නැන් ඉන් ගුරුතුමා හමුවන්න ගිය හැම වතාවෙදිමත් නැන් ඉන් ගුරුතුමා කිව්වෙ එකම දෙයයි. "වෛද්‍යවරයකු හැටියට මෙතන කාලෙ නාස්ති කර කර ඉන්න හොඳ නැහැ. ගෙදර යන්න. ගිහින් ඔබේ රෝගීන් හොඳින් බලා ගන්න."
කුසුදාට තවමත් පැහැදිලි නැහැ ඒ වගේ ඉගැන්වීමකින් කොහොමද මරණ බය නැති කර ගන්නෙ කියලා. ඒ නිසා හතර වැනි වතාවෙදි ඔහු ගුරුතුමාට මෙහෙම මැසිවිලි නැඟුවා:
"මගේ මිත්‍රයා මට කීවේ, සෙන් ඉගෙන ගත්තාම කෙනෙකුගේ මරණ බය නැති වෙනවා කියලයි. මම හැමදාම මෙහෙ ආවාම ඔබතුමා කීවේ එකම දෙයයි. 'යන්න ගිහින් ඔබේ රෝගීන් ගැන බලා ගන්න' කියලයි. ඒක මං දන්නවා. ඒක නම් ඔබේ සෙන්. මං මීට පස්සෙ මෙහෙ එන්නෙ නැහැ."
නැන් ඉන් සිනාවක් මුවඟට නඟා ගෙන වෛද්‍යවරයාගේ පිටට තට්ටුවක් දැම්මා. "මං ඔබට කී දේ ටිකක් දරුණු වැඩියි වගේ. ඉන්න මං ඔබට 'කෝන්' එකක් දෙන්නම්. (කෝන් යනු ජපන් සෙන් ප්‍රහේලිකාවක්. බවුන් වඩන්න දෙන කමටහනක් වැන්නක්.) කියූ එතුමා ජෝසුගේ මියූ කියන ප්‍රහේලිකාව ඔහුට දුන්නා. 'ඒ ගැන හිතන්න!' කියලා. ඒක තමයි, 'දොරක් නැති දොර' කියන පොතේ එන මනස දියුණු කරන මුල් ම ගැටලුව. (මියු යන්නෙහි අරුත 'කිසිත් නැති' යන්නයි.)
කුසුදා මියු ගැටලුව ගැන වසර දෙකක් තිස්සේ කල්පනා කළා. ඔහුට ඔහුගේ මනස ගැන වෙනසක් දැනුණා. ඔහු හිතුවා යම් ප්‍රමාණයකට මනස දියුණු කර ගත්තා කියලා. ඒත් ගුරුතුමා හමුවීමට ගියාම එතුමා කීවා, "ඔබ තවමත් ඇතුළට ආවේ නෑ" කියලා.
කුසුදා තවත් අවුරුදු එක හමාරක් ඒ ගැන වෙහෙසුණා. අන්තිමේ දී ඔහුගේ මනස සන්සුන් වුණා. ගැටලු සියල්ල විසඳුණා. සත්‍යය ඇත්තේ 'කිසිත් නැති තැන' බව ඔහුට වැටහුණා. ඔහු රෝගීන්ව හොඳින් බලා ගත්තා. ඔහු නොදැනම ජීවිතය හා මරණය යන දෙකෙන් ම නිදහස ලබා සිටියා.
ඔහු ගුරුතුමා හමවීමට ගිය විට ගුරුතුමා කළේ මුවගට සිනා රැල්ලක් නඟා ගත්තු එක විතරයි.
(පර්සි ජයමාන්නගේ 'සෙන් බොදු කතා' නම් ග්‍රන්ථයෙනි.)
0 Comments